Wednesday, December 14, 2011

අමතක කරන්න එපා





"මිනිසුන්ට ජීවත් වීමට , නිදහසට සහ දේපළ රැස් කිරීමට ස්වභාවික අයිතියක් තිබේ. තම අයිතිවාසිකම්වලින් කොටසක් ඔවුන් සිය කැමැත්තෙන් රජය නම් තම අභිමතය පරිදි පිහිටුවාගත් පාලනාධිකාරයට පවරනු ලැබේ. ඒ, ජීවත්වීමේ, නිදහසේ විසීමේ සහ දේපළ රැස්කරගැනීමේ සිය අයිතීන් වඩා හොඳින් සුරැකීම සඳහා ය."
- ජෝන් ලොක් (1632–1704)


ඒ දෙසැම්බර් 12 වෙනිදා රාත්‍රිය යි.

අවුරුදු දාසයක මිනිහෙකුට (මෙතන මිනිහෙක් කියන්නේ හෝමෝ සේපියන් කෙනෙක් කියන එකය.) මරණීය දඬුවම ට තීන්දුව ලැ‍බෙන්න ඔන්න මෙන්න ය.

අන්තිමේ දී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ප්‍රේක්ෂකාගාරය අසුන්වලින් නැගී අත්පොළසන් දීමට පටන් ගනියි. එය තීරණාත්මක මොහොතක අවසානයකි. තර්ක ගොඩක්, සාධාරණ සැකය පිළිබඳ සැකය, ජීවිතය සහ මරණය- හදවත් තුළ කකෑරෙන වේදනාවන් මේ සියල්ල වේදිකාව මතත් ප්‍රේක්ෂක මනස් තුළ ඊට ටිකක් වැඩියෙනුත් රඟ දැකුවුණු පසු..... රෙජිනෝල්ඩ් රෝස් විසින් රචිත අතුල පතිරණ ගේ අනුවර්තනයක් ලෙස නිර්මාණය වුණු "දොළහක්" වේදිකා නාට්‍යයයෙන් මුළු රඟහළ ම කම්පිත වෙයි. මිනිහෙකුගේ ජීවිතය ගැනීමට, නැතහොත් වරදකරුවෙකු කිරීමට ඔබ කොතෙක් සුදුසු ද? ඒ තීරණය කොතෙක් නිවැරදි විය යුතුද? ඊට ඔබේ බුද්ධියේ පරිමාව, නියෝජනය කරන පංතිය, ඔබේ ආශාවන් සහ වුවමනාවන්, ඔබ තුළ ඇති සහකම්පනයේ ධාරිතාව, පුද්ගලික තුවාල, වෛරය, අගතීන් සහ අකාරුණික බව අවිඥානිකව කරන බලපෑම ; සියුම් සැතකින් සාරා පාරා හදවත විනිවිද කෙමෙන් කෙමෙන් මතුකර ගන්නා ඒ මරණීය හෘද සාක්ෂිය කෙතරම් කම්පනීය ද?

වැදගත්ම පැනය නම් අපට එසේ කම්පනය විය හැක්කේ සහ අප එසේ විය යුත්තේ රඟහලක දී පමණ ද යන්න යි.

පුද්ගලයෙකුගේ ජීවිතයට ඇති අයිතිය නැති කිරීම කොතෙක් බරපතල ද යන්න සිතමු. මේ රටේ පහුගිය දශක හතර , එනම් ඉතිහාසයේ ස්ථානයක් සළකුණු කළහොත් 1971 සිට මේ දක්වා ජීවත් වීමට ඇති අයිතිය යන කාරණයට තබා ඇති බර කොපමණ ද? 1776 අමෙරිකානු නිදහස් ප්‍රකාශනයෙන්, 1948 එක්සත් ජාතීන්ගේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයෙන්, 1966 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රකාශනයෙන් සහ අන්තිමේ දී 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයෙන් සහ එකී මෙකී නොකී සියලු ප්‍රකාශන සහ සංශෝධන වලින් ස්ථාපිත කරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් වලට නිදහස හිමි වීමේ සිට මේ දක්වා පුරවැසි ඡන්දයෙන් පත්වුණු ආණ්ඩු දුන් වැදගත්කම කුමක්ද? ඒ අයිතිවාසිකම 400,000 ක හමුදාවක්, දහස් ගණණක් පාතාලයන් සහ ජරාජීර්ණ නිළධාරි පංතියක් ලවා නිර්දය ලෙස පැහැර ගැනෙද්දි සාක්ෂරතාවය 94.2% වන ලංකාව නම් බුද්ධිමත් රාජ්‍යයේ වැසියන් කළේ මොනවාද?

මේ දෙපාර්ශවය අතර ඇත්තේ දශක ගණනාවක සිට නොබි‍ඳෙන අපූරු නිහඬ සුන්දර එකඟතාවකි. ඒ, ආණ්ඩුව මොනවා කළත් ‘සාමාන්‍ය’ මහ ජනතාව (කොන්දේසි විරහිතව) සහ ඇකඩමියාව (මුලින් කොන්දේසි සහිතව සහ පසුව රහිතව) ඊට එකඟ වීම යි. එහි ප්‍රතිඵලයක් ලෙස මාරුවෙන් මාරුවට එක වගේ(අයිඩෙන්ටිකල්) ආණ්ඩු පත් වේ. එකම ෆැසිස්ට්වාදී පාලකයාම ය. (ලංකාවට එහෙම නැතුව බැරි බවට අලුත්ම මතයක් ඇතිවෙමින් පවතී). මේ ෆැසිස්ට්වාදී පාලකයා ගේ සළුපිළි ඒ පුද්ගලයාගේ හැකියාව සහ ජනතාවගේ අද්‍යතන ආශාවන් අනුව වෙනස් වෙයි. ඇතැම්විට එය බුද්ධිමත් ව්‍යවස්ථාවාදී වංශවත් එකක් වන අතර විටෙක ස්ත්‍රීවාදී වැන්දඹුකරණය වූ සානුකම්පිත එකකි. තව විටෙක නිර්ධන පාංතික, ‘පොඩි මිනිහාවාදී’ එකකි. හොඳම එක නම් ජාතිකවාදී (ඕනෑම විටෙක රෙද්ද ලිහා සිංහල බෞද්ධ අඳනය පෙන්විය හැකි), පීතෘ ස්නේහයෙන් අනූන (ළමයි වඩාගෙන සිඹීම ද මීට ඇතුළත් ය.) සිය පවුළට අසීමිත ලැදියාවක් ඇති , කිසිදා ජාතිය තනි නො කර ශතවර්ෂ ගණනාවක් රැකවල් සදනු රිසි රාජාභරණවලින් ආඪ්‍ය වූ ඇඳුම යි. මීට ආවඩන නිළධාරි පංතිය රාජ්‍ය සහ මහජන දේපළ හප කර උරා බොයි. කැරළි සහ ත්‍රස්ත මර්ධනයේ නාමයෙන් දහස් ගණනක් මිනිසුන් බල්ලන් බළලුන් සේ මරා දැමෙයි. අතුරුදහන් වෙයි. මේවා ප්‍රශ්න කිරීම අතුරුදන් කරවනු ලැබිය හැකි වරදකි.

අතුරුදහන්ව ඇති මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයින් සහ සිවිල් පුරවැසියන්ගේ ඉරණම සහ ඒ ගැන ආණ්ඩුව දක්වන දියාරු ආකල්පය ඛේදනීය වන අතර ඒවා පිළිබඳ ප්‍රශ්න කරන විට ලැබෙන පිළිතුරු විස්මයාවහ ලෙස හාස්‍යජනකය. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කොට වසර දෙකකට ආසන්න වන අතර ඒ ගැන මේ තාක් මායාමය උපකල්පන මාධ්‍යගත කළ ආණ්ඩුවේ පිළිවෙත තවත් උත්කර්ෂයට නංවමින් ඊයේ පෙරේදා ජනාධිපති නීති උපදේශක මොහාන් පීරිස් සන්ධ්‍යා එක්නැළිගොඩගේ හිසෙහි අත ගසා දිවුරුවේ එක්නැළිගොඩ විදෙස් රටක ජීවත් වන බවයි. පීරිස් ගේ හස්තය සිය හිසෙන් මදක් ඉවත් කළ සන්ධ්‍යා ඒ ඉන්නා තැන හෙළිදරව් කරන මෙන් ඉල්ලා ජාත්‍යන්තරයට ගියා ය . මීළඟ ට ආසන්නතම තවත් උදාහරණයක් වන්නේ නොබෝදා ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජු සහ එම ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සාමාජික කුගන් මුරුගන් අතුරුදන් කරවීම යි. ලංකාවේ අච්චාරු වුණ වුණ වම වෙනුවෙන් පෝස්ටර් ගහනවාට වඩා පීරිස්, එක්නැළිගොඩව යවා ඇති රටේ සතුටින් ජීවත් වීම හොඳ යැයි ඇතැම් විට ඔවුන්ට සිතුණායයි හෙට මහින්ද අබේසුන්දර කීවොත් අප පුදුම විය යුතු නැත.

රෙජිනෝල්ඩ් රෝස් ට අනුව අනෙකෙකුගේ ජීවිතය පිළිබඳ තීරණ ගන්නා මොහොතේ දී උපරිම බලය සහිත අධිකරණය හෙවත් නෛතික බලය පවා ඒ පිළිබඳව යළි යළිත් විමසිය යුතුය. රෝස් (ලංකාවේ දී අතුල) සිය නාට්‍යයෙන් ප්‍රේක්ෂකයා (හෙවත් බුද්ධිමතා, කලාකරුවා සහ සාමාන්‍ය හුදී ජනයා) කම්පනය කොට අවදි කිරීමට දරණ උත්සාහයට සමාන්තරව ලංකාව දෙස බලමු. එහි ජීවත් වීමට ඇති අයිතිය හේතු කිහිපයක් නිසා අහිමි කරනු ලැබෙයි.

1. රෙජීමය පවත්වාගෙන යාමේ අනිවාර්ය කොන්දේසියට යටත්ව, ඊට බාධකයක් වන ඕනෑම කෙනෙකු ඉවත් කිරීමේ පදනමේ සිට (ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, 71,89,83-2009 යන යුගයන් හි තරුණ නැගිටීම් වලට පිළිතුරු ලෙස කළ මහා ඝාතන සහ පාතාලය හරහා කරවනු ලැබූ දේශපාලන ඝාතන මීට ඇතුළත් කළ හැක.)

2. රෙජීමයේ අවශ්‍යතාව මත ජනතාව මත පටවනු ලැබූ මිලිටරිකරණයේ ප්‍රතිඵලයක් ලෙස (භාරත ඝාතනය මෙන්ම දකුණු පළාතේ හම්බෙගමුව ප්‍රදේශයේ ආරක්ෂක අංශ සාමාජිකයා එකම පවුලේ තිදෙනෙකුට වෙඩි තබා තමන් ද වෙඩි තබා සිය දිවි හානි කරගැනීම ද එප්පාවල කඩිගාව ගම්මානයේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු තරුණියන් දෙදෙනෙකු සමග අඩි 50 ක් උස ගසක එල්ලී දිවි නසා ගැනී ම, නොබෝදා සිය උසස් පොලිස් නිළධාරියාට වෙඩි තබා තමන් ද වෙඩි තබා ගත් පොලිස් නිළධාරියාගේ සිද්ධිය වැනි මෙතෙක් සිදුව ඇති එවැනි සියලු ඛේදවාචක මීට ඇතුළත් ය.)

3. පිළිසිඳ ගැනීමේ සිට ම ජීවිතයට බද්ධ කරනු ලැබූ විපරීත ජරාජීර්ණ මනෝභාවයන්ගෙන් යුතු, කුණුවූ බලාපොරොත්තු විරහිත පොදු ජන ජීවිතවල කාළකණ්නිකමේ ප්‍රථිඵලය ලෙස (නාට්ටාමි "පූ" නමැත්තා විසින් හිඟන්නන් 15 ක් ම්ලේච්ඡ ලෙස මරා දැමීම, පාසල් දරු දැරියන් ටයි පටියෙන් එල්ලී වස බී සිය දිවි නසා ගැනීම මෙන්ම පවුල් ව්‍යභිචාරය, ප්‍රේමය , ඉඩම් ආරවුල් යනාදී සකල විධ හේතූන් මත එකිනෙකා මරාගැනීම උදාහරණ ලෙස සිහිපත් කරගත හැකිය.)

මේ ලැයිස්තුව තව දීර්ඝ විය හැකිය.

මේ මරණ සිදුවූයේ ඉතා සාමාන්‍ය ලෙස ය. සමාජය විසින් ඒවා භාර ගැනුනේ ක්ෂණික කම්පනයකිනි. ඉන් පසුව ඒවායේ වැදගත්කම හීන වී ගොස් පොළේ "රතු ළූණු මිල ඉහළ යාම" ටත් වඩා පහතට වැටුණි. ඒවාට එරෙහිව ඇති වූ විරෝධතා නින්දිත ලෙස නොසලකා හැරෙමින් තිබෙයි. ඒ මරණ වලට "අනේ අපොයි" කියන මහ ජනතාව විපරීත දේශපාලනික සූත්‍රය යළි යළිත් සාධනය කරමින් අනෙක් පැත්ත හැරී ඡන්දය දමා ගෝඩ් ෆාදර් ලා දිනවයි.

ලොක් ට අනුව "මිනිසුන්ට ජීවත් වීමට , නිදහසට සහ දේපළ රැස් කිරීමට ස්වභාවික අයිතියක් තිබේ. තම අයිතිවාසිකම්වලින් කොටසක් ඔවුන් සිය කැමැත්තෙන් රජය නම් තම අභිමතය පරිදි පිහිටුවාගත් පාලනාධිකාරයට පවරනු ලැබේ. ඒ, ජීවත්වීමේ නිදහසේ විසීමේ සහ දේපළ රැස්කරගැනීමේ සිය අයිතීන් වඩා හොඳින් සුරැකීම සඳහා ය." මෙහි ඛේදය වන්නේ මිනිසා සිය බලය පවරා දුන් පාලනාධිකාරය වන ආණ්ඩුව නම් ක්‍රමවේදය නිර්මාණය කර දුන් මේ කුණු ඇපල් ගෙඩිය ජනතාව සර්පයාගෙන් භාර ගන්නේ පැරණි වහල් යුගයේ මානසිකත්වයෙන් ම වීම යි. ධාර්මික යුද්ධ පිළිබඳ සුසුදු පෙම් බස්, දේශයේ ගෞරවය පිළිබඳ රොමෑන්තික දෙසුම්, කැපකිරීම (වහල්බව වෙනත් වචනවලින්) පිළිබඳ ගෞරවණීය මතවාද විසින් මේ පිළිලය ඔතමින් තිබෙයි. විකල්ප ඇකඩමියාව අතිශයින් බරපතළ ලෙස විවාදවල පැටළී පැටළී කෙස් පලයි. ජනතාව කුණුවූ ජීවිත පිරිමැදගනිමින් ස්වප්නමය නිද්‍රාවේ සෞන්දර්යය ද විඳියි. ඒ මොහොතේ දී ම කෙනෙකු අසල සිටින අනෙකාගේ ජීවත් වීමේ අයිතිය මහ දවල් උදුරා ගැනෙයි. මතක ඇතිව අප අමතක කළ යුත්තේ වෙන කිසිවක් නොවේ. රොස් විසින් තට්ටු කර අවදි කරන්නට තනන අපේ හෘද සාක්ෂිය යි. 



Wednesday, December 7, 2011

දේශපාලන ඥාති සංග්‍රහය හෝ අනුග්‍රහය සදාචාරාත්මකද?





සංග්‍රහය යන නාම පදය දානය, ප්‍රදානය සහ සැලකීම යන අර්ථ සපයයි. මෙම ප්‍රදානයන් සහ සැලකීම් ඥාතීන්ට පමණක් ඉටු කිරීම ඥාති සංග්‍රහය ලෙස සැලකෙන අතර රෝම අධිරාජ්‍යවාදය තුළ, පූජක පංතිය තුළ (ක්‍රිස්තියානි , බෞද්ධ , හින්දු) සහ මුස්ලිම් රාජාණ්ඩු සහ ලිබරල් දේශපාලනය තුළ පමණක් නොව අධ්‍යාපනය, කලාව ආදී සංස්ථා තුළ මෙන්ම ජනවාර්ගික සමූහයන් තුළ ද මෙම ප්‍රපංචය ක්‍රියාත්මත වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ආර්ථීක ආගමික සහ දේශපාලන වශයෙන් හෝ මෙයින් එකකින් බලවත් වූ නායකයෙකු සිය අභිමතය මත සමීපතම ඥාතීන් (දරුවන්, සහෝදරයන්, බිරින්දන්, බිරිඳගේ පාර්ශවයන්) හෝ දුරස්ථ ඥාතීන් හා සමහර විට මිතුරුන් වෙත ඔවුන් සතු හැකියාවන් සැලකිල්ලට නොගෙන නිල තල සහ ඒ කැටුව එන බලතල ප්‍රදානය කිරීම දේශපාලන ඥාති සංග්‍රහය (Political Nepotism) ලෙස හැඳින්වේ.

සැඟවුනු අරමුණු රහිතව හුදු මානවවාදය හෝ ආගමික නිෂ්ඨා මුල්කරගෙන (උදා: දන්දීම, ප්‍රසාද දීමනා) නැතිනම් ලෞකික චාරිත්‍ර ක්‍රමයක් ලෙස (උදා: උපන් දින, විවාහ සහ ජයග්‍රහණ) සැමරුම් වලදී කරණු ලබන සංග්‍රහයන්ගේ රූපයෙන් දේශපාලන ඥාති සංග්‍රහය රූපය වෙනස්ය. එයට හේතුව මානව දයාවන් සහ ආගමික අරමුණු වලින් පෙළඹී කරණු ලබන සංග්‍රහයන්ට සදාචාරයක් තිබීමත් දේශපාලන ඥාති සංග්‍රහයට සදාචාරයක් නොමැති වීමත්ය. නොබෙල් සම්මානලාභී සැවෝ බෙලෝගේ පුත් ඇඩම් බෙලෝ In Praise of Nepotism නැමති සිය පොතින් ගැඹුරකින් තොරව බොළඳ ආකාරයට ඥාති සංග්‍රහයට ප්‍රශස්තියක් ලියුව ද, එසේම ශ්‍රී ලාංකික මැති ඇමතිවරුන් අවස්ථාවාදයට පණදෙමින් වර්තමාන පාලනයේ කැපී පෙණෙන ඥාති සංග්‍රහ ව්‍යවපංචයෙහි වරදක් නොදුටුවද, ඥාති සංග්‍රහයට කොහෙත්ම සාදාචාර පදනමක් නැත. එය ඥාති සංග්‍රහය පිළිබඳ ඔවුන්ගේ බාල නිර්වචනය මිස පීඩිත පොදු ජනතාවගේ සාදාචාරය නොවේ. ට්‍රොට්ස්කිගේ Their Morals and Ours පොත කියවන්නෙකුට මෙම සාදාචාරයන් දෙකෙහි වෙනස වැටහෙනු ඇත. බලවතා පමණක් සාදාචාරයේ ව්‍යවස්ථාදායකයා හා එහි හිමිකරු වන බව එවිට ඔහුට හෝ ඇයට වැටෙහෙනු ඇත. චෞරත්වය මොනතරම් දුරට සදාචාර විරෝධී ද, හුදු ඥාති සහ මිත්‍ර සම්බන්ධතා නිසාම නිලතල වලට පත්ව ඒවා අනිසි ලෙස පාවිච්චි කිරීම සහ ඒවාට මුවා වී මහජන මුදල් වංචා කිරීම (ඉන්දුනිසියානු ජනාධිපති සුහර්තෝ, පිලිපීන ජනාධිපති මාකෝස් මෙන්) ඒ හා සමානව සාපරාධි සදාචාර විරෝධී ක්‍රියාවකි.


ඥාති සංග්‍රහය (Nepotism)

Nepotism යන වචනයේ මුලාශ්‍රය "Nepot" නැමති ලතින් වචනයයි. එහි අර්ථය බෑණා (nephew) නැතිනම් මුනුපුරා (grand – child) යන්නයි. ඉතාලියානු බසින් "nepote" යන්හිද කියවෙනුයේ 'බෑණා' යන්නයි. මේ අනුව යමින් කොලින්ස් ශබ්දකෝෂය nepotism නිර්වචනය කරනුයේ ඥාතීන්ට පක්ෂග්‍රාහී වී අනුග්‍රහය දැක්වීමක් ලෙසය. (favoritism shown to relatives) සමහරු මෙම පහදාදීම් වලින් ඔබ්බට ගොස් කුසලතාවන් හෝ හැකියාවන් කිසිවක් නැති එහෙත් ඥාතීත්වය නිසාම උසස් තනතුරු ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය ඥාතී අනුග්‍රහකත්වය හෝ සංග්‍රහය ලෙස හඳුන්වති. මෙය පැරණි සහ ප්‍රාථමික ඥාති සංග්‍රහයයි. (This is old and primitive nepotism) තවත් ඥාතී සංග්‍රහ වර්ගයක් ද ඇත. එනම් ඥාතීන් වුවද ඔවුන්ගේ කුසලතා මුල්කරගෙන තනතුරු වලට පත් කිරීමය. මෙය නූතනවාදී ඥාතී අනුග්‍රහය (new nepotism) ලෙස හඳුන්වයි. (කෘතිය: In praise of Nepotism)

එසේම ඔහු මෙය උන්නතිගාමී (Progressive) ලෙසද හඳුන්වයි. මෙම ඥාතී අනුග්‍රහ වර්ග 02 පිළිවෙලින් උදාහරණ සහිතව පරීක්ෂා කිරීමට පෙර ඥාතී අනුග්‍රහය කැපී පෙණෙන ආගමික සංස්ථා දෙසද කෙටියෙන් හෝ බැලීම වැදගත් වනු ඇත.


ආගමික ඥාති අනුග්‍රහය (Religious nepotism)

සියලු ආගමක්ම න්‍යායේ සමානාත්මතාවය (egalitarianism) ඉස්මතු කළද ආගමික සංස්කෘතියේ ඉහළ නිල තලයේදී ඥාතීන්ට සැලකීම දැඩි ලෙස ක්‍රියාත්මක වු බවට උදාහරණ එදත් නොඅඩුව තිබිණි. අදත් නොඅඩුව ඇත.

ක්‍රි:පූ 06 වන සියවසේ බෞද්ධ සමාජය තුළද ඥාති වරප්‍රසාද ලාභීන් සිටියහ. (privileged kins) එහෙත් ධර්ම භාණ්ඩාගාරික තනතුර පිදුණේ සුදුසුකම් සැලකිල්ලට ගෙන ආනන්ද තෙරණුන්ටය. එම තනතුර ඒ හිමිට පිරිනැමුණේ ඒ හිමියන් ස්මෘතියෙන් අග්‍රගණ්‍යයවීමේ නිර්ණායක මතය. එසේම සිය සුළු මව වූ ප්‍රජාපතීට මෙහෙණි සස්නට බුදුන් අවසර නොදුන්නේ ඥාතී සංග්‍රහහය පිළිබඳ චෝදනාවක් එල්ල විය හැකි බැවින් යැයි පොත්වල සඳහන් වෙයි. බුදුන් වහන්සේ ගේ ඥාතී අනුග්‍රහය පිළිබඳ සංකල්පය ප්‍රතිපත්ති මූලික එකක් වුවද පැරණි භාරතයේ ඥාතීත්වයට විශේෂ සැලකිල්ලක් දැක් වූ බවට සාක්ෂි ඕනෑතරම් ඇත.

ශ්‍රී ලංකාව තුළ බෞද්ධ භාවිතය තුළ එදා සහ අද ඥාති සංග්‍රහය ප්‍රදර්ශනය ව ඇත. මල්වතු-අස්ගිරි විහාරද්වයේ නායක ධුරය ඥාතීන් අතර පමණක් දෝලනය වන බව ප්‍රසිද්ධ රහසකි. ආගම්වල බඹරසර රැකීම නිසාවෙන් (celibacy) දරුවන් නොමැති වීමේ හේතුවෙන් ඥාති දරුවන් මහණ කර නායකත්වයට පත් කර ගැනීම ලංකාව තුළ පමණක් නොව විශ්වීය බෞද්ධ වලල්ල (Buddhist Diaspora) තුළද ප්‍රසිද්ධව ක්‍රියාත්මක වේ.

මධ්‍යතන යුගයේ පල්ලි වල පෝප් සහ බිෂෝප් වරු පත්වූයේද ඥාතීත්වයද මතයි. මෙය හඳුන්වන්නේ පෝප් පෙළපත (papal dynasty) ලෙයසි. පෝප් කැලිස්ටර්ස් III බෝර්ජියා හී බෑණා වරුන් දෙදෙනෙක් කාදිනල් වරු කළේය. පෝප් අලෙක්සැන්ඩර් IV ඔහුගේ අනියම් බිරිඳගේ සහෝදර වූ අලෙක්සැන්ඩිරෝ ෆානිසේ කාදිනල් ලෙස පත් කළේය. පෝප් පෝල් III අවුරුදු 16, 18 ගැටවරයන් දෙනෙක් කාදිනල් වරු කළේය. (Catholic Dictionary 2007) මෙම ඥාතී දම්වැල පෝප් ඉනසන්ට් III විසින් 1692 දී වලකාලන තෙක්ම ක්‍රියාත්මක වුණි. එහෙත් ඔහුගෙන් පසුද ඥාතී පත්වීම් වල අඩුවක් වුනේ නැත.

ඉහත ඥාතී සංග්‍රහ ප්‍රකාරයන්ට වඩා මානව විරෝධී සහ සදාචාර විරෝධී වනුයේ සුදුසුකම් නැති දේශපාලන හා ඥාතී මිත්‍රාදීන්ට නිලතල වලින් අනුග්‍රහය දැක්වීමයි. මෙම ඥාතී සංග්‍රහය පැරණි ඥාතී සංග්‍රහය (old nepotism) ලෙස හැඳුන්වනුයේ "සුදුසුකම් සහිත ඥාතීන්ට නිලතල පැවරීමේ" නව හෙවත් පශ්චාත් නූතනවාදී ඥාතී අනුග්‍රහයට (බෙලෝ: In Praise of Nepotism) එරෙහිවය. බෙලෝ මෙම දෙවැන්න උන්නතිගාමී නැතහොත් ප්‍රගතිගාමී (Progressive) ලෙස දැක්වුවද මානව වාදී හා සදාචාරමය කෝණයෙන් බලන කළ දෙකම අගතිගාමීය. දෙකම සුරාකෑමේ ක්‍රමවේද දෙකකි. පළමු වැන්න ඉතාමත් විවෘතව, නිර්ලජ්ඡීව, හිතක් පපුවක් නැතිව කරණු ලබන සූරාකෑමක් වන අතර ඇඩම් බෙලෝ ආවඩනු ලබන දෙවැන්න මහත්මා සහ පවුල් වාසගම් වශයෙන් කරණු ලබන සූරාකෑමකි. (උදා: කෙනෙඩියානු හා ගාන්ධියානු පවුල් ක්‍රියාන්විතයන්) එසේම දෙවැන්න බහුජාතික සමාගම් නැමති අරමුණ කරා පිය ඔසවන පවුල් ව්‍යාපාරයකි. මේ පිළිබඳව පසුවට වැඩි දුර විග්‍රහ කරමි. පළමුව පැරණි ඥාති සංග්‍රහයේ භූමිකාව දෙස බලමු. මෙහිදී පැරණි යන්නෙන් අදහස් වන්නේ කාලයෙන් පරාණ නොව භූමිකාවෙන් ප්‍රාථමික සහ මිලේච්ඡ (primitive) යන්නයි. සාදාචාර විරෝධී නූතන ඥාතී සංග්‍රහය පිළිබඳ විශාල මෑත ඉතිහාසයක් දෙස කෙටියෙන් බළමු. මේ සෑම රටකම මෙයට වඩා දහස් ගණන් මෙවැනි උදාහරණ පෙන්වා දිය හැකිමුත් අවධාරණය කරණුයේ කැපී පෙණෙන වර්තමාන ඥාති සංග්‍රහ කිහිපයකට පමණි. 


 මෙම ලිපි අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි.

Sunday, December 4, 2011

පිරුළු කතන්දර| "ජැක් පීටර් මැක් කිව්වා වගෙයි!"

අපි අසන දකින දෙයින් යම් තීරණවලට එළඹෙමු. එහෙත් අප අසන දකින දෙය, සෑම විටම ඇත්ත නොවේ. ඒ මත තීරණ ගැනීමේ දී, අප බොහෝ විට හාස්‍යයට ද ලක් වෙයි. දිනක් එක් විදේශිකයෙක් දේශාටනය සඳහා ලංකාවට පැමිණියේය. ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකි. ලංකාවේ ගම් නියම් ගම්වල ඇවිදීමට ඔහු බොහෝ ඇල්මක් දැක්වීය. දිනක් ඔහු දකුණු පළාතේ කුඹුරු ගොවිතැන් කරනු බැලීමට ගියේය.
 
මී හරකුන් බානක කරෙහි වියගසක් ගැට ගසා ඇත. එහි බැඳ ඇති නගුලෙන් ඔවුහු කුඹුරු සී සාති. ගොවියා අත කෙවිටකි. ඔවුහු ඕසෙ නගමින්, අඬහැර පාමින්, ගොනුන් දක්කති. ඇසූ දෙයින් සුද්දා මවිතයට පත් විය.
"ජැක්... පීටර්..... මැක්"

සුද්දා අනුරාධපුරය නැරඹීමට ගියේය. එහි ගොවියෝ ද ගවයන්ට අඬහැර පාන්නේ එකම හඬිනි.
"ජැක්... පීටර්..... මැක්"

මේ තම රටෙහි වැදගත් මිනිසුන්ට භාවිතා කරන නම් තුනකි. තම රටෙහි මිනිසුන්ට භාවිතා කරන නම් වලින් ලංකාවෙහි ගොන්නුන්ට අමතන්නේ ඇයි දැයි ඔහුට පුදුමයකි. ඔහු පා තැබූ සෑම ප්‍රදේශයකම ගවයන් අමතන්නේ එසේය.
"ජැක්... පීටර්..... මැක්"

ඔහු උගත් ලේඛකයෙකි. තම රටට ගිය ඔහු, ලංකාව ගැන පොතක් ලීවේය. එහි ඔහු මෙසේ ලීවේය.

"ලංකාවේ මිනිස්සු ගවයන්ගෙන් කුඹුරු සී සාති. කෙවිටකින් පහර දෙමින් නම් කියා කෑ ගසති. එවිට ඔවුන් ගවයන් අමතන්නේ අප රටෙහි වැදගත් මිනිසුන්ගේ නම් කියමිනි. ජැක්... පීටර්..... මැක්"

අප ගොවියන් ගොවි භාෂාවෙන් ගවයන් දක්කන්නේ "ජහ්... පිට... මහ්" යනුවෙනි.
සුද්දා එය තේරුම් ගත්තේ වැරදි ආකාරයටය.

-ජැක් පීටර් මැක් (පිරුළු කතන්දර)| හේමචන්ද්‍ර සූරියආරච්චි| 2005

මෙමන්න මකුළුවෝ ගැන

සත්ව විද්‍යාත්මකව Misumena vatia ලෙස හැඳින්වෙන මේ සුවිශේෂි මකුළු විශේෂය කකුළු මකුළු පවුලෙ සාමාජිකයෙක්. ඇත්තටම මේගොල්ලන්ගෙ ඉදිරි පාද යුගල කකුළුවෙකුගේ මෙන් ඉදිරියට නැඹුරු වූ ස්වරූපයක් ගන්නවා. ඒවගේම කකුළුවෙකු මෙන් පසුපසටත්, පැත්තෙන් පැත්තට පාර්ශ්වීය ලෙසත් චලනය වීමේ හැකියාව තිබෙනවා. වේශාන්තරණය මකුළු ලෝකය තුල දුලබ සිදුවීමක්. ඒත් මේ Misumena vatia අයත් මකුලුවන් සුවිශේෂි වන්නේ ඔවුන්ට වේශාන්තරණය වීමේ ඇති හැකියාව නිසයි. උතුරු අමෙරිකාවේ සුලබ මකුළු විශේෂයක් වෙන මොවුන් හඳුන් වන්නේ ගෝල්ඩන්රොඩ් මකුළුවන් ලෙසයි. ඒ ඔවුන් වැඩියෙන්ම ගැවසෙන්නේ ගෝල්ඩන්රොඩ් කියන මල් වර්ගයේ නිසයි.

මේ කකුළු මකුළු විශේෂය ගොදුරු අල්ලාගන්නට කිසි විටෙකත් දැල් උපයෝගී කරගන්නේ නෑ. ඔවුන් ප්‍රසිද්ධ සැඟවී සිට පහරදෙන දඩයක්කරුවන් ලෙසයි. ඒ කියන්නේ Misumena vatia විශේෂයේ මකුළුවන් ඉන්නා පෘෂ්ඨයට සමීප වර්ණයකින් සිරුර පවත්වා ගැනීමක් එහෙම නැතිනම් වේශාන්තරයක් සිදුකිරීමෙන් තමයි මෙය සිදු කරන්නේ. වේශාන්තරණය මකුළුවන් අතර දුලබ දෙයක් වුණත් Misumena vatia ට මේ හැකියාව තියෙනවා.

මේ මකුළුවන් ගේ පිරිමි සතුන් ප්‍රමාණයෙන් මි. මී.5ක් තරම් වන නමුත් ගැහැණු සතුන් මි. මී.10ක් පමණ වෙනවා. ශරීර වර්ණය ලා කහ පැහැයක් හෝ සුදු පැහැයක් ගන්නේ ඔවුන් දඩයන් කරන්නට යොදා ගන්නා පෘෂ්ඨය අනුවයි. ඩේසි සහ සූරියකාන්ත මල් වල සිටින නොමේරූ ගැහැණු සතුන්ට තමාගේ ශරීර වර්ණය තමා කැමති පරිදි වෙනස් කරගැනීමෙ හැකියාව තිබෙනනවා. මේරු ගැහැනු මකුළුවෙකුට ශරීර වර්ණය වෙනස් කරගැනීමට වර්ණක බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම එම කාර්යය සඳහා දීර්ඝ වේලාවක් ගතවෙනවා. ඒ නිසා ඔවුන් වැඩිපුර තොරා ගන්නේ තද කහ පැහැති ගෝල්ඩන්රොඩ් කියන මල් වර්ගයයි.

කයිනුරෙනීන් සහ 3-හයිඩ්රොක්සිකයිනුරෙනීන් නම් කහ පැහැති වර්ණක සහිත දියරයක් ශරීරයේ බාහිර සෛල ස්ථරයට නිකුත් කිරීමෙන් තමයි ඔවුන් පාට වෙනස් කරන්නේ. ඉන්පසු ශ්වේත වර්ණය මූලික කරගෙන එම කහ වර්ණය පහල ස්ථරයන් වෙත පරිවහනය කරනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල සුදු පැහැ ගැන්වීමෙන් අනතුරුව එය බාහිරයට පෙනෙන්නට පටන් ගන්නවා. මෙම මකුළුවන් දීර්ඝ වේලාවක් සුදු පැහැති පෘෂ්ඨයක රැඳි සිටින්නේ නම් කහ වර්ණක ශරීරයෙන් දිගින් දිගටම බහිස්‍රාවය කරනවා. එමගින් ශරීරය කහ පැහැවීම දිගු වේලාවකට ප්‍රමාද කරනවා. සාමාන්‍යයෙන් පැහැය සුදු වර්ණයයේ සිට කහ වර්ණය දක්වා වෙනස් වීමට දින 10-25 ත් අතර කාලයක් ගත වෙනවා. ඒ වගේම යථා තත්වයට පත් වෙන්න ගත් වෙන්නෙ දින 6ක් වගේ කාලයක්.