Wednesday, December 7, 2011
දේශපාලන ඥාති සංග්‍රහය හෝ අනුග්‍රහය සදාචාරාත්මකද?
සංග්‍රහය යන නාම පදය දානය, ප්‍රදානය සහ සැලකීම යන අර්ථ සපයයි. මෙම ප්‍රදානයන් සහ සැලකීම් ඥාතීන්ට පමණක් ඉටු කිරීම ඥාති සංග්‍රහය ලෙස සැලකෙන අතර රෝම අධිරාජ්‍යවාදය තුළ, පූජක පංතිය තුළ (ක්‍රිස්තියානි , බෞද්ධ , හින්දු) සහ මුස්ලිම් රාජාණ්ඩු සහ ලිබරල් දේශපාලනය තුළ පමණක් නොව අධ්‍යාපනය, කලාව ආදී සංස්ථා තුළ මෙන්ම ජනවාර්ගික සමූහයන් තුළ ද මෙම ප්‍රපංචය ක්‍රියාත්මත වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ආර්ථීක ආගමික සහ දේශපාලන වශයෙන් හෝ මෙයින් එකකින් බලවත් වූ නායකයෙකු සිය අභිමතය මත සමීපතම ඥාතීන් (දරුවන්, සහෝදරයන්, බිරින්දන්, බිරිඳගේ පාර්ශවයන්) හෝ දුරස්ථ ඥාතීන් හා සමහර විට මිතුරුන් වෙත ඔවුන් සතු හැකියාවන් සැලකිල්ලට නොගෙන නිල තල සහ ඒ කැටුව එන බලතල ප්‍රදානය කිරීම දේශපාලන ඥාති සංග්‍රහය (Political Nepotism) ලෙස හැඳින්වේ.
සැඟවුනු අරමුණු රහිතව හුදු මානවවාදය හෝ ආගමික නිෂ්ඨා මුල්කරගෙන (උදා: දන්දීම, ප්‍රසාද දීමනා) නැතිනම් ලෞකික චාරිත්‍ර ක්‍රමයක් ලෙස (උදා: උපන් දින, විවාහ සහ ජයග්‍රහණ) සැමරුම් වලදී කරණු ලබන සංග්‍රහයන්ගේ රූපයෙන් දේශපාලන ඥාති සංග්‍රහය රූපය වෙනස්ය. එයට හේතුව මානව දයාවන් සහ ආගමික අරමුණු වලින් පෙළඹී කරණු ලබන සංග්‍රහයන්ට සදාචාරයක් තිබීමත් දේශපාලන ඥාති සංග්‍රහයට සදාචාරයක් නොමැති වීමත්ය. නොබෙල් සම්මානලාභී සැවෝ බෙලෝගේ පුත් ඇඩම් බෙලෝ In Praise of Nepotism නැමති සිය පොතින් ගැඹුරකින් තොරව බොළඳ ආකාරයට ඥාති සංග්‍රහයට ප්‍රශස්තියක් ලියුව ද, එසේම ශ්‍රී ලාංකික මැති ඇමතිවරුන් අවස්ථාවාදයට පණදෙමින් වර්තමාන පාලනයේ කැපී පෙණෙන ඥාති සංග්‍රහ ව්‍යවපංචයෙහි වරදක් නොදුටුවද, ඥාති සංග්‍රහයට කොහෙත්ම සාදාචාර පදනමක් නැත. එය ඥාති සංග්‍රහය පිළිබඳ ඔවුන්ගේ බාල නිර්වචනය මිස පීඩිත පොදු ජනතාවගේ සාදාචාරය නොවේ. ට්‍රොට්ස්කිගේ Their Morals and Ours පොත කියවන්නෙකුට මෙම සාදාචාරයන් දෙකෙහි වෙනස වැටහෙනු ඇත. බලවතා පමණක් සාදාචාරයේ ව්‍යවස්ථාදායකයා හා එහි හිමිකරු වන බව එවිට ඔහුට හෝ ඇයට වැටෙහෙනු ඇත. චෞරත්වය මොනතරම් දුරට සදාචාර විරෝධී ද, හුදු ඥාති සහ මිත්‍ර සම්බන්ධතා නිසාම නිලතල වලට පත්ව ඒවා අනිසි ලෙස පාවිච්චි කිරීම සහ ඒවාට මුවා වී මහජන මුදල් වංචා කිරීම (ඉන්දුනිසියානු ජනාධිපති සුහර්තෝ, පිලිපීන ජනාධිපති මාකෝස් මෙන්) ඒ හා සමානව සාපරාධි සදාචාර විරෝධී ක්‍රියාවකි.
ඥාති සංග්‍රහය (Nepotism)
Nepotism යන වචනයේ මුලාශ්‍රය "Nepot" නැමති ලතින් වචනයයි. එහි අර්ථය බෑණා (nephew) නැතිනම් මුනුපුරා (grand – child) යන්නයි. ඉතාලියානු බසින් "nepote" යන්හිද කියවෙනුයේ 'බෑණා' යන්නයි. මේ අනුව යමින් කොලින්ස් ශබ්දකෝෂය nepotism නිර්වචනය කරනුයේ ඥාතීන්ට පක්ෂග්‍රාහී වී අනුග්‍රහය දැක්වීමක් ලෙසය. (favoritism shown to relatives) සමහරු මෙම පහදාදීම් වලින් ඔබ්බට ගොස් කුසලතාවන් හෝ හැකියාවන් කිසිවක් නැති එහෙත් ඥාතීත්වය නිසාම උසස් තනතුරු ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය ඥාතී අනුග්‍රහකත්වය හෝ සංග්‍රහය ලෙස හඳුන්වති. මෙය පැරණි සහ ප්‍රාථමික ඥාති සංග්‍රහයයි. (This is old and primitive nepotism) තවත් ඥාතී සංග්‍රහ වර්ගයක් ද ඇත. එනම් ඥාතීන් වුවද ඔවුන්ගේ කුසලතා මුල්කරගෙන තනතුරු වලට පත් කිරීමය. මෙය නූතනවාදී ඥාතී අනුග්‍රහය (new nepotism) ලෙස හඳුන්වයි. (කෘතිය: In praise of Nepotism)
එසේම ඔහු මෙය උන්නතිගාමී (Progressive) ලෙසද හඳුන්වයි. මෙම ඥාතී අනුග්‍රහ වර්ග 02 පිළිවෙලින් උදාහරණ සහිතව පරීක්ෂා කිරීමට පෙර ඥාතී අනුග්‍රහය කැපී පෙණෙන ආගමික සංස්ථා දෙසද කෙටියෙන් හෝ බැලීම වැදගත් වනු ඇත.
ආගමික ඥාති අනුග්‍රහය (Religious nepotism)
සියලු ආගමක්ම න්‍යායේ සමානාත්මතාවය (egalitarianism) ඉස්මතු කළද ආගමික සංස්කෘතියේ ඉහළ නිල තලයේදී ඥාතීන්ට සැලකීම දැඩි ලෙස ක්‍රියාත්මක වු බවට උදාහරණ එදත් නොඅඩුව තිබිණි. අදත් නොඅඩුව ඇත.
ක්‍රි:පූ 06 වන සියවසේ බෞද්ධ සමාජය තුළද ඥාති වරප්‍රසාද ලාභීන් සිටියහ. (privileged kins) එහෙත් ධර්ම භාණ්ඩාගාරික තනතුර පිදුණේ සුදුසුකම් සැලකිල්ලට ගෙන ආනන්ද තෙරණුන්ටය. එම තනතුර ඒ හිමිට පිරිනැමුණේ ඒ හිමියන් ස්මෘතියෙන් අග්‍රගණ්‍යයවීමේ නිර්ණායක මතය. එසේම සිය සුළු මව වූ ප්‍රජාපතීට මෙහෙණි සස්නට බුදුන් අවසර නොදුන්නේ ඥාතී සංග්‍රහහය පිළිබඳ චෝදනාවක් එල්ල විය හැකි බැවින් යැයි පොත්වල සඳහන් වෙයි. බුදුන් වහන්සේ ගේ ඥාතී අනුග්‍රහය පිළිබඳ සංකල්පය ප්‍රතිපත්ති මූලික එකක් වුවද පැරණි භාරතයේ ඥාතීත්වයට විශේෂ සැලකිල්ලක් දැක් වූ බවට සාක්ෂි ඕනෑතරම් ඇත.
ශ්‍රී ලංකාව තුළ බෞද්ධ භාවිතය තුළ එදා සහ අද ඥාති සංග්‍රහය ප්‍රදර්ශනය ව ඇත. මල්වතු-අස්ගිරි විහාරද්වයේ නායක ධුරය ඥාතීන් අතර පමණක් දෝලනය වන බව ප්‍රසිද්ධ රහසකි. ආගම්වල බඹරසර රැකීම නිසාවෙන් (celibacy) දරුවන් නොමැති වීමේ හේතුවෙන් ඥාති දරුවන් මහණ කර නායකත්වයට පත් කර ගැනීම ලංකාව තුළ පමණක් නොව විශ්වීය බෞද්ධ වලල්ල (Buddhist Diaspora) තුළද ප්‍රසිද්ධව ක්‍රියාත්මක වේ.
මධ්‍යතන යුගයේ පල්ලි වල පෝප් සහ බිෂෝප් වරු පත්වූයේද ඥාතීත්වයද මතයි. මෙය හඳුන්වන්නේ පෝප් පෙළපත (papal dynasty) ලෙයසි. පෝප් කැලිස්ටර්ස් III බෝර්ජියා හී බෑණා වරුන් දෙදෙනෙක් කාදිනල් වරු කළේය. පෝප් අලෙක්සැන්ඩර් IV ඔහුගේ අනියම් බිරිඳගේ සහෝදර වූ අලෙක්සැන්ඩිරෝ ෆානිසේ කාදිනල් ලෙස පත් කළේය. පෝප් පෝල් III අවුරුදු 16, 18 ගැටවරයන් දෙනෙක් කාදිනල් වරු කළේය. (Catholic Dictionary 2007) මෙම ඥාතී දම්වැල පෝප් ඉනසන්ට් III විසින් 1692 දී වලකාලන තෙක්ම ක්‍රියාත්මක වුණි. එහෙත් ඔහුගෙන් පසුද ඥාතී පත්වීම් වල අඩුවක් වුනේ නැත.
ඉහත ඥාතී සංග්‍රහ ප්‍රකාරයන්ට වඩා මානව විරෝධී සහ සදාචාර විරෝධී වනුයේ සුදුසුකම් නැති දේශපාලන හා ඥාතී මිත්‍රාදීන්ට නිලතල වලින් අනුග්‍රහය දැක්වීමයි. මෙම ඥාතී සංග්‍රහය පැරණි ඥාතී සංග්‍රහය (old nepotism) ලෙස හැඳුන්වනුයේ "සුදුසුකම් සහිත ඥාතීන්ට නිලතල පැවරීමේ" නව හෙවත් පශ්චාත් නූතනවාදී ඥාතී අනුග්‍රහයට (බෙලෝ: In Praise of Nepotism) එරෙහිවය. බෙලෝ මෙම දෙවැන්න උන්නතිගාමී නැතහොත් ප්‍රගතිගාමී (Progressive) ලෙස දැක්වුවද මානව වාදී හා සදාචාරමය කෝණයෙන් බලන කළ දෙකම අගතිගාමීය. දෙකම සුරාකෑමේ ක්‍රමවේද දෙකකි. පළමු වැන්න ඉතාමත් විවෘතව, නිර්ලජ්ඡීව, හිතක් පපුවක් නැතිව කරණු ලබන සූරාකෑමක් වන අතර ඇඩම් බෙලෝ ආවඩනු ලබන දෙවැන්න මහත්මා සහ පවුල් වාසගම් වශයෙන් කරණු ලබන සූරාකෑමකි. (උදා: කෙනෙඩියානු හා ගාන්ධියානු පවුල් ක්‍රියාන්විතයන්) එසේම දෙවැන්න බහුජාතික සමාගම් නැමති අරමුණ කරා පිය ඔසවන පවුල් ව්‍යාපාරයකි. මේ පිළිබඳව පසුවට වැඩි දුර විග්‍රහ කරමි. පළමුව පැරණි ඥාති සංග්‍රහයේ භූමිකාව දෙස බලමු. මෙහිදී පැරණි යන්නෙන් අදහස් වන්නේ කාලයෙන් පරාණ නොව භූමිකාවෙන් ප්‍රාථමික සහ මිලේච්ඡ (primitive) යන්නයි. සාදාචාර විරෝධී නූතන ඥාතී සංග්‍රහය පිළිබඳ විශාල මෑත ඉතිහාසයක් දෙස කෙටියෙන් බළමු. මේ සෑම රටකම මෙයට වඩා දහස් ගණන් මෙවැනි උදාහරණ පෙන්වා දිය හැකිමුත් අවධාරණය කරණුයේ කැපී පෙණෙන වර්තමාන ඥාති සංග්‍රහ කිහිපයකට පමණි.
මෙම ලිපි අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment